දකුණේ සෙට් එක - Dakune Set Eka

දකුණේ සෙට් එක - Dakune Set Eka දකුණට ආදරය කරන ආදරණීය හදවත් අප හා එක්වන්න .

දකුණේ සෙට් එක - Dakune Set Eka

උල්කාපාතයක් කඩා වැටී උස්වුගොඩ - උස්සන්ගොඩ වුන හැටිශ්‍රී ලංකාවේ 21 වන ජාතික උද්‍යානය පිහිටලා තියෙන්නේ දකුණු පළාතේ හම්බන්ත...
17/01/2025

උල්කාපාතයක් කඩා වැටී උස්වුගොඩ - උස්සන්ගොඩ වුන හැටි

ශ්‍රී ලංකාවේ 21 වන ජාතික උද්‍යානය පිහිටලා තියෙන්නේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ. මෙම උද්‍යානයේ නම උස්සන්ගොඩයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබෙන තුන්වන ජාතික උද්‍යානය වන මෙහි මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 349.077ක්.

අපේ රටේ වෙරළ තීරය පුදුමාකාර විදිහට පරිසර පද්ධතීන් විවිධත්වයට උරුමකම් කියනවා. තඹ පාට, සේද පාට මුහුදු වැලි පිරුණු කඩොලාන, කලපු, කොරල් පර, හුම්මාන වගේ එකිනෙකට හාත්පසින්ම වෙනස් පරිසර පද්ධති අපට උරුමයි. මේ ඒ වගේ තවත් සුවිශේෂ පරිසර පද්ධතියක් තමයි උස්සන්ගොඩ තියෙන්නේ.

උද්‍යානයක් කිව්වම අපේ මතකයට එන්නේ ගස් කොළන්, සතුන් සිව්පාවුන් පිරුණු භූමියක්. ඒත් උස්සන්ගොඩට යන ඔබට එහෙම දකින්නට නැහැ. ඇත්තටම ඒක නිසාම වෙන්න ඇති උස්සන්ගොඩ අනිත් ස්ථානවලට වඩා වෙනස්.

උස්සන්ගොඩ කියන්නේ මුහුදට යාබදව පිහිටලා තිබෙන උස් භූමියක පිහිටි රතුපාට පසින් යුත් තැනිතලාවක්. මේ තැනිතලාවේ පිහිටලා තිබෙන පරිසරයේ තියෙන්නෙත් වෙනස්ම ශාක පද්ධතියක්.

උස්සන්ගොඩ යන්න කොළඹ - කතරගම පාරේ නෝනගම හන්දියට කිලෝමීටරයක් විතර ඉස්සෙල්ලා දකුණට තියෙන පාරේ.

මේ පරිසරය අතිශයින්ම වැදගත් පරිසරයක් ලෙස සැලකෙනවා. ඒකට හේතුව රතු පැහැති පාෂාණ විශේෂයක් මෙහි පැතිර තිබීමත් මේ භූමියේ ශාක වර්ග නොමැති වීමත්. ඒවගේම මෙහි පස් අතින් ඇල්ලූ විට අතේ එම පස්වල වර්ණය තැවරීමත් තවත් විශේෂත්වයක්. උස්සන්ගොඩ ගැන විද්‍යාත්මකව වගේම ආගමික පුරාවෘත්ත ගණනාවක්ම තිබෙනවා. මිනිස්සු විශ්වාස කරන හැටියට රාවණ රජුගේ දඬුමොනරය ගොඩබස්සපු තවත් ස්ථානයක් තමයි උස්සන්ගොඩ. ඒ වගේම විද්‍යාත්මක මතය අනුව උස්සන්ගොඩ කියන්නෙ උල්කාෂ්මයක්. ඒ කියන්නේ උල්කාපාතයක කොටසක් අවුරුදු මිලියන ගානකට ඉස්සර මෙම ප්‍රදේශයට පතිත වෙලා කියලා. මේ පස්සේ තියෙන අධික Ferric oxide සාන්ද්‍රනය නිසා මේ විදිහට රතු පාටට පේනවා කියලා තියෙනවා. මේ රසායනික විපර්යාස නිසාම සාමාන්‍ය ගහක් කොළක් හැදෙන්න ඕනෑ. පෝෂණය මේ පසට නැහැ. එහෙත් මේ ගැන වැඩිපුරම පරීක්ෂණ කරලා නැති නිසා ඒවත් එක එක මතයන් විතරයි. උල්කාපාතයක් කඩා වැටී උස්වුගොඩ පසුකාලීනව උස්සන්ගොඩ වූ බවත් ගම්වාසීන් පවසනවා.

කොහොම වුණත් උස්සන්ගොඩ තැනිතලාව උඩටම යනකොට ඉර මුදුන් වෙලා. තනියම යන්න නම් හිතටත් පොඩි බයක් දැනෙනවා. මොකද මේ ප්‍රදේශයේ පිඹුරා, නයා, පොළඟා වගේම වල් ඌරා, කළවැද්දා, මීමින්නා වගේ සතුන් ඉන්න බව මෙතනට එන්න පටන් ගන්න කොටම ගමේ කෙනෙක් අපට කිව්වා නිසා.

කොහොම වුණත් මාත් එක්ක මේ ගමන හතරදෙනෙක් ආවත් අව් රශ්මිය නිසාම එක්කෙනෙක් එහෙමම නැවතුණා. ඒ සමීර. සබරගමුව මඟදිම මුහුදු වෙරළ කිට්ටුවම ඔහු නැවතුණා. සුරේෂ් විතරයි කොහොමහරි උඩටම ආවේ. කොහොම හරි මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන උස්සන්ගොඩ මුදුනට යන්න අපට පුළුවන් වුණා. ටික දුරක් යද්දී තැනිතලාවේ එක් කොටසක දම්පාට පුංචි මල් වර්ගයක් පිපිලා. මාත් එක්ක ගිය සුරේෂ් මේ ගම් පළාතේ නිසා එයා කිව්වාම තමයි දැනගත්තෙ ඒ විෂ්ණුකාන්ති නමින් හඳුන්වන වටිනා බෙහෙත් පැළෑටි විශේෂයක් කියලා.

මුලින්ම අපි ගමන පටන් ගත්ත තැන තිබුණු පොල් අතු සෙවිලි කළ ධීවර වාඩි මෙතැනට පේන්නේ ගිනි පෙට්ටි වගේ. ඒ වගේම මේ පස් මත උණු වූ යකඩ මෙන් කළු පැහැයට සමාන පස් විශේෂයක් ද තවත් තැන්වල උස් වු සේදී ගිය ගල් විශේෂයක් ද තිබෙනවා.

මේ පසේ අධික වශයෙන් ලෝහ සාන්ද්‍රණය පවතින නිසා ගස් වැල් හටගන්නේ නැති බව නම් පෙනී යනවා. තද රතුපාට පසේ ගස් වැවෙන්නෙ ඉතා කලාතුරකින්. ඒත් සමහර තැන්වල ඉතා කුඩාම තෘණ විශේෂයක් දකින්නට පුළුවන්. ඒ වගේම තැන් කිහිපයකම කරඹ, පතොක් වැනි වියළි පොළොව මත වැවෙන ශාක වැවී තිබෙනවා. පතොක් ගස් කටු සහිතයි. ඒ ගස් ඉතා සරුවට වෙරළට සමීපව වැවී තිබීම මෙහි විශේෂත්වයක්. ඒ වගේම වැටකෙයියා ගස් ඉතා සුලභව මෙහි දකින්න පුළුවන්. ඒ වගේම කටු පඳුරු ගස්, වන කටු, පතොක්, හීරැස්ස, පලු වැනි ගස් වර්ග ද මේ පරිසර පද්ධතියේ තිබෙනවා.
උස්සන්ගොඩ අසල මුහුදු වතුර නිල් කැට වගේ. මෙහි තිබෙන්නේ නොගැඹුරු මුහුදත් එක්කම තියෙන පොඩි කොරල් පරයක්. මුහුදෙන් මාළු ඉන්නවා හරියට.

පැලැස්ස කියවන ඔබත් කතරගම යනව නම් අතරමග උස්සන්ගොඩ ජාතික උද්‍යානයත් දැකබලා ගෙන යන්න පුළුවන්. ඒත් මෙහි දී ඔබ මතක තියාගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. මේ භූමියේ කිසිම ශාක විශේෂයක් හෝ සත්ත්ව විශේෂයක් පිටතට ගෙන යෑම සම්පූර්ණයෙන්ම තහනම්. ඔබ නොදැනුවත්කමින් හරි එහෙම කරලා තිබුණොත් ලොකු දඩ මුදලක් ගෙවන්න වෙනවා. ඒවගේම මේ මුහුදට බහිනවනම් පරිස්සම් වෙන්න ඕනේ. මේ කිට්ටුව ජීවිතාරක්ෂක ඒකකයක් නොමැති නිසා ලොකු අවදානමකට මුහුණ දෙන්න වෙනවා.

උස්සන්ගොඩ වෙරළ සුනාමි රළ පහරට අවම හානියක් වූ වෙරළවලින් එකක්. මේ සුන්දර වෙරළ රැක ගැනීම අප සතු යුතුකමක්.

ඒ වගේම පසුගිය කාලවල මේ ප්‍රදේශයේ වාහනවලින් ගිහින් පරිසරය විනාශ කරපු නිසා දැන් ලොකු ගල් දාලා වාහන යන්න බැරි වෙන්න පාර අවහිර කරලා තියෙන්නේ. කැළි කසළ පොලිතින් වගේම මේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතා කරලා තියෙනවා දැකගන්න තියෙනවා. ඒ නිසා මේ සුන්දර ස්ථානය මතු පරපුරට රැකදීම අප සතු යුතුකමක්.

ප්‍රභාත් විතානාච්චි

උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය 🌹

Address

Ussangoda
Ambalantota

Website

Alerts

Be the first to know and let us send you an email when දකුණේ සෙට් එක - Dakune Set Eka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to දකුණේ සෙට් එක - Dakune Set Eka:

Share