08/12/2025
වර්තමානයේ ඇතිවී තිබෙන ආපදා තත්වය ගොඩදෙනෙක් අපගෙන් අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද රජයට කරන පරිත්‍යාගයන් ආදායම් බදු වලට බලපාන්නේ කියලා. මේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක්.
මේ සදහා අවධානය යොමුකරද්දී අප යොමු වෙන්න ඕනේ 2017 අංක 24 දේශීය ආදායම් පනතේ 52 වන වගන්තියට සහ පස්වන උපලේකනයට. පනතේ 52 වන වගන්තියයේ 1 වන උප වගන්තියේ කියනවා පුද්ගලයෙකු හෝ ආයතනයක් (හවුල් ව්‍යාපාර සහ සංස්ථාපිත සමාගම්) තම බද්ධට යටත් ආදායම ගනනය කිරීමේදී තම සමස්ථ තක්සේරු කළ හැකි ආදායමෙන් 5 වන උපලේකනයේ සදහන් සුදුසුකම් ලබන ගෙවීම් අඩුකරගන්න පුළුවන් කියලා.
එහෙනම් දැන් බලමු 5 වන උපලේකනයේ තියෙන සුදුසුකම් ලබන ගෙවීම් මොනවද කියලා. එහි 1 ආ වගන්තියේ දක්වා තිබෙනවා පහත දක්වා ඇති ආයතනයන්ට කරනු ලබන ගෙවීම් සීමාවකින් තොරව පුද්ගලයන්ට සහ ආයතනයන්ට තම තක්සේරු කළ හැකි ආදායමෙන් අඩුකල හැකි බව. එහෙනම් අපි බලමු මොනවද එම ආයතන කියලා.
1. ශ්‍රී ලංකා ආණ්ඩුව
2. පළාත් පාලන ආයතනයක්
3. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත යටතේ පිහිටුවන ලද හෝ පිහිටුවන ලදැයි සලකණු ලබන යම් උසස් අධ්‍යාපන ආයතනයක්
4. 1981 අංක 74 දරණ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පනත මගින් හෝ ඒ යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හෝ යම් උසස් අධ්‍යාපන ආයතනයක්
5. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිහිටුවන ලද අරමුදලක්
6. පළාත් පාලන ආයතනයක් මගින් පිහිටුවන ලද, අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද අරමුදලක්
7. 1979 අංක 17 දරණ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පනත මගින් පිහිටුවන ලද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිර්මාණය කරන ලද සහ පාලනය කරනු ලබන සෙවන අරමුදල
8. පළාත් සභාවක් මගින් පිහිටුවන ලද සහ අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද යම් අරමුදලක්
9. 2008 අංක 6 දරණ අපි වෙනුවෙන් අපි අරමුදල් පනත මගින් පිහිටුවන ලද අපි වෙනුවෙන් අපි අරමුදල
10. 2006 අංක 34 දරණ ශ්‍රී ලංකා ජාතික වකුගඩු පදනම (සංස්ථාගත කිරීමේ) පනත යටතේ පිහිටුවන ලද ජාතික වකුගඩු අරමුදල.
පවතින තත්වය මත රජය විසින් ඇති කරන ලද Rebuilding Sri Lanka අරමුදල ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිහිටුවන ලද අරමුදලක් ලෙස හදුනාගත හැකි අතර ඔබ විසින් පාසලකට, රෝහලකට කරන පරිත්‍යාගයක් ප්‍රායෝගික භාවිතය තුළ ශ්‍රී ලංකා ආණ්ඩුවට කරන පරිත්‍යාගයක් ලෙස හදුනාගත හැකියි.
නමුත් ඔබ එසේ ලබාදෙන පරිත්‍යාගයන් සම්බන්ධයෙන් එම පරිත්‍යාග ලබා ගත් ආයතනයෙන් ඔවුන් එම පරිත්‍යාගය ලබාගත් බවට ලේකනයක් ඔබ විසින් ලබා ගත යුතු අතර ඔබ විසින් දරණ ලද වියදම් සම්බන්ධවද අදාල බිල්පත් සහ ලේකන ඔබ සතුව පැවතිය යුතුය. ඒවා ආදායම් බදු වාර්තාව යැවීමේදී ඔබ විසින් කල සුදුසුකම් ලබන ගෙවීම සනාථ කිරීමට අත්‍යවශ්‍ය වෙනවා.
එහෙනම් දැන් බලමු උදාහරණයක් අරගෙන එවැනි පරිත්‍යාගකින් ඔබ විසින් ගෙවන බදු මුදලට මොනවගේ බලපෑමක් ඇති වෙනවද කියලා.
අපි හිතමු 2025/26 බදු වර්ෂයේ (2025.04.01 සිට 2026.03.31 දක්වා) ඔබගේ සමස්ත තක්සේරු කළ හැකි ආදායම (රැකියාවෙන් ලැබෙන දළ වැටුප, ව්‍යාපාරික ලාභය, ආයෝජන ආදායම් සහ වෙනත් ආදායම් යන්නේ එකතුව) රුපියල් ලක්ෂ 50 ක් කියලා. එසේ වූ විට වර්ෂය සදහා ඔබට හිමි බදු නිදහස් දීමනාව වන ලක්ෂ 18 අඩුකළ විට ඔබගේ බද්දට යටත් ආදායම ලක්ෂ 32 ක් වෙනවා. එවිට ඔබ විසින් ගෙවිය යුතු බදු මුදල පහත පරිදි ගනනය කළ හැකියි.
පළමු රුපියල් ලක්ෂ 10 සදහා x 6% = 60,000
දෙවන රුපියල් ලක්ෂ 5 සදහා x 18% = 90,000
තුන්වන රුපියල් ලක්ෂ 5 සදහා x 24% = 120,000
සිවුවන රුපියල් ලක්ෂ 5 සදහා x 30% = 150,000
ඉතිරිය සදහා එනම් ලක්ෂ 7 සදහා x 36% = 252,000 වශයෙනි. එවිට සමස්ත වශයෙන් රුපියල් 672,000 ක මුදලක් ඔබට ආදායම් බදු වශයෙන් ගෙවීමට සිදුවේ.
දැන් හිතමු ඔබ විසින් ඔබගේ ආදායමෙන් ලක්ෂ 10 ක් ඉහත සදහන් කළ ආයතනයකට පරිත්‍යාග කලා කියලා. එවිට ඔබ විසින් ගෙවිය යුතු ආදායම් බදු මුදල පහත සදහන් පරිදි ගනනය කළ හැකිය.
ඔබගේ තක්සේරු කළ හැකි ආදායම = 5,000,000
අඩු කළා : බදු නිදහස් දීමනාව = (1,800,000)
අඩු කළා : සුදුසුකම් ලබන ගෙවීම් (ඔබ විසින් කළ පරිත්‍යාගය) = (1,000,000)
එවිට ඔබගේ බද්දට යටත් ආදායම = 2,200,000
එසේ වූ විට ඔබ විසින් ගෙවිය යුතු බදු මුදල පහත පරිදි ගනනය කළ හැකියි.
පළමු රුපියල් ලක්ෂ 10 සදහා x 6% = 60,000
දෙවන රුපියල් ලක්ෂ 5 සදහා x 18% = 90,000
තුන්වන රුපියල් ලක්ෂ 5 සදහා x 24% = 120,000
ඉතිරි ලක්ෂ 2 සදහා සදහා x 30% = 60,000 ක් වශයෙන් සමස්ත බදු මුදල 330,000 කි.
ඒ අනුව ඔබ කළ පරිත්‍යාගය රුපියල් ලක්ෂ 10 නිසා ඔබ විසින් ගෙවිය යුතු වූ බදු මුදල රුපියල් 342,000 කින් අඩු වී ඇත. මින් පැහැදිලි වන්නේ ඔබ කළ පරිත්‍යාගයෙන් සැබැවින්ම ඔබ විසින් දරා ඇත්තේ රුපියල් 658,000 ක් මුදලක් එනම් 65.8% ක ප්‍රතිශතයක් වන අතර ලැබිය යුතු බදු ආදායම අඩු වීම නිසා රුපියල් 342,000 ක් එනම් 34.2% ක ප්‍රතිශතයක් රජය විසින් වක්‍ර ආකාරයෙන් දරා ඇති බවයි.
තවත් ආකාරයකින් කිවහොත් රුපියල් 3,200,000 ක බද්දට යටත් ආදායමක් හිමි ඔබ විසින් රුපියල් 672,000 ක ආදායම් බද්දක් ගෙවීමෙන් පසු ඔබට රුපියල් 4,328,000 ක් (2,528,000 + 1,800,000) පවතින අතර රුපියල් 2,200,000 බද්දට යටත් ආදායමක් හිමි ඔබ විසින් රුපියල් රුපියල් 330,000 ක ආදායම් බද්දක් ගෙවීමෙන් පසු ඔබට රුපියල් 3,670,000 ක් (1,870,000+1,800,000) ක් පවතී. ඔබ විසින් රුපියල් 1,000,000 ක පරිත්‍යාගයක් කලත් ඔබ විසින් සැබවින්ම ලබා දී ඇත්තේ රුපියල් 658,000 කි. (4,328,000 - 3,670,000) කි. බදු වලින් ලද ඉතුරුව රුපියල් 342,000 කි.
ප්‍රබුද්ධක සුමනරත්න
0714453229