04/07/2026
බොහෝ ව්යාපාර හිමිකරුවන් තම ලාභ-අලාභ ගිණුම (P&L) සකස් කිරීමේදී විශාල වැරැද්දක් සිදු කරති. එනම්, එම මාසයේදී මිලදී ගත් භාණ්ඩවල වටිනාකම (Purchasing) පමණක් වියදම් ලෙස සලකා, එම මාසයේ අවසානයේ ගබඩාවේ ඉතිරිව ඇති තොගය (Closing Stock) නොසලකා හැරීමයි. පෙනුමෙන් මෙය සරල ක්රියාවලියක් ලෙස පෙනුනද, මූල්යමය වශයෙන් ගත් කල එය ඔබේ ව්යාපාරයේ සැබෑ ලාභදායිතාවය වසන් කරන දෝෂයකි.
ව්යාපාරයක සැබෑ ලාභය හෝ අලාභය තීරණය කළ හැකි එක් කරුණක් ලෙස "විකිණුම් පිරිවැය" (Cost of Sales - COS) දැක්විය හැකිය. මූල්ය මූලධර්මවලට අනුව, විකිණුම් පිරිවැය යනු සරලව මාසයේ මිලදී ගැනීම් පමණක්ම නොවේ. එය ආරම්භක තොගයට (Opening Stock) එම මාසයේ මිලදී ගැනීම් (Purchasing) එකතු කර, අවසාන තොගය (Closing Stock) අඩු කිරීමෙන් ලැබෙන අගයයි. මෙහිදී ඔබේ Purchasing Return ආදී තොගයක් තිබේ නම් ඔබ එයත් මෙම සූත්රය සඳහා ආදේශ කළ යුතුයි. ඔබ මෙම සූත්රය නොසලකා හරිමින්, මාසයේ මිලදී ගැනීම් (Purchasing) පමණක් වියදම් ලෙස පෙන්වන්නේ නම්, ඔබේ මූල්ය වාර්තා සියල්ල අසත්ය තොරතුරු මත පදනම් වේ.
මෙම අත්වැරදීම ව්යාපාරයට බලපාන ආකාරය දෙස බැලූ විට, එහි ප්රතිවිපාක ඉතා දරුණුය. ප්රධාන වශයෙන්ම, මෙය ඔබේ "දළ ලාභ ආන්තිකයේ" (Gross Profit Margin) නිවැරදි අනුපාත විශ්ලේෂණය (Ratio Analysis) කළ නොහැකි තත්ත්වයකට ඇද දමයි. සමහර අවස්ථාවලදී, ඔබේ ව්යාපාරය දළ ලාභයක් ලබනවාද නැතහොත් දළ අලාභයකට මුහුණ දෙනවාද යන්න පවා වටහා ගැනීමට නොහැකි තරම් මූල්ය දත්ත විකෘති වී තිබිය හැක. මිලදී ගැනීම් පමණක් වියදම් ලෙස සලකන විට, ලාභය අඩු වී පෙන්වන නිසා, ඔබ ලබන සැබෑ ලාභය සැඟවී යයි. මෙහි ප්රතිඵලයක් ලෙස දළ ලාභ ආන්තිකය මෙන්ම ශුද්ධ ලාභ ආන්තිකය (Net Profit Margin) ද විශාල ලෙස වෙනස් වේ.
මූල්ය දත්තවල පවතින මෙම අස්ථාවරත්වය ව්යාපාරික තීරණ ගැනීම අඩපණ කරයි. ආයෝජනයක් කිරීමට, බැංකු ණය ලබා ගැනීමට හෝ ව්යාපාරයේ අනාගත උපාය මාර්ග සකස් කිරීමට දත්ත අවශ්ය වන විට, ඔබ සතු වැරදි වාර්තා මත පදනම්ව ගන්නා තීරණ සියල්ල ව්යාපාරයට අහිතකර ලෙස බලපෑ හැකිය.
එබැවින්, ව්යාපාර හිමිකරුවෙකු ලෙස ඔබ වටහා ගත යුත්තේ, "මෙම මාසයේ මිලදී ගත් පමණින් එය වියදමක් නොවන" බවයි. ගබඩාවේ ඇති වත්කම, විකිණෙන තෙක්ම ඔබේ ව්යාපාරයේ වත්කමක් ලෙස පවතින අතර, එය විකිණීමෙන් පසු පමණක් වියදමක් (Cost of Sales) ලෙස මූල්ය වාර්තාවලට ඇතුළත් විය යුතුය.