03/09/2025
බැංකු වලින් ණය දෙන්නෙ නෑද්ද? එක හේතුවක් මේ..
යන බොහෝ තැන්වල කියනවා.. ඒත් ලියන්න වෙලාවක් තිබ්බේ නෑ..
අද මාතෘකාව ශේෂ පත්‍රය.. මේ වචනය රට ගැන හිතුවොත් එච්චර හොදනෑ.. ජීවිතේ ශේෂ පත්‍රයක් අපි හැමෝටම තියෙනවා. මේ ශේෂ පත්‍රයේ විශේෂත්වය තමයි දෙපැත්ත සමාන වෙන්න ඕනේ, තරාදියක් වගේ දෙන ලද අවස්ථාවකට තමයි Balance ද කියල බලන්න ඕනේ.
හැබැයි අද අපි කතාකරන්නෙ ඔබේ ව්‍යාපාරයේ ශේෂ පත්‍රය ගැන. BALANCE SHEET මම මේක ගැන කතාරන්න ප්‍රධානම හේතුව තමයි අපේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මේකේ තියන වැදගත්කම තේරුම් අරන් නෑ කියන ප්‍රායෝගික අවබෝදය. ගිණුම්කරණය ඉගෙනගන්නකොට මූලික ගිණුම් වර්ග තුනෙන් එකක් තමයි මේක. ව්‍යාපාරයක දෙන ලද මොහොතක වත්කම් වගකීම් හා හිමිකම් වල ස්වභාවය අවබෝද කරගන්න පුලුවන් මේකෙන්. අවංකව ඔබේ ව්‍යාපාරයේ කැඩපත.. ඔබේ ව්‍යාපාරය ගැන ඕනෙම කෙනෙක්ට තක්සේරුවක් ගන්න පුලුවන් මෙන්න මේ සුවිශේෂී ගිණුම් වාර්ථාවෙන්.
අවංකව ඔබට ණය දෙනවද? ප්‍රාග්ධන ආයෝජකයෙක් එයිද? ණය ප්‍රතිව්‍යුහගතකරණය කරයිද ? හොද ගැණුම් කරුවෙක්, Partner කෙනෙක් හම්බෙයිද? ඔබේ ව්‍යාපාරය විකුණන්න පුලුවන් ද? ඔබේ ව්‍යාපාරයේ වටිනාකම කීයද? ඔබ බංකොලොත් වෙයිද? කියන සියල්ල කියන්න පුලුවන් ඉතා බලවත් දෙන ලද මොහොතක කේන්දරයක් තමයි ගිණුම් වාර්ථාව
මේ වාර්ථාව හදන්නෙ දෙන ලද දවසකට ව්‍යාපාරයේ තත්වය, මේක නිකම්ම හදන්න බෑ මේක හදන්න ඔබ ගිණුම් තියන්න ආරම්භ කරන්න ඕනේ. ඔබේ ව්‍යාපායේ සෑම ගණුදෙනුවක්ම සටහන් කරන්න ඕනේ.
මේ වාර්ථාවෙ එක පැත්තක වත්කම්, ඒ කියන්නෙ මුදල්, එකතුකරගත යුතු ආදායම්, තැන්පතු වගේ ද්‍රවශීල වත්කම් වගේම ඉඩම්, ගොඩනැගිලි, වාහන, යන්‍ත්‍ර වගේ ස්ථාවර වත්කම් තියන්නෙ පුලුවන්. මේකෙ අනෙක් පැත්තෙ තියෙන්නෙ ගෙවිය යුතු වියදම්, බැංකු ණය, සේවකයන්ට අනාගතේ ගෙවිය යුතු වගකීම්, හිමිකරුවන් දාපු ප්‍රාග්ධනය හා අතිරික්ත ලාභය වගේ දේවල් ( ගොඩක් අය හිතනවා තම ව්‍යාපාරය තමන්ට අයිති කියල ඇත්‍තටම එහෙම නෑ ව්‍යාපාරය දිහා ස්වාධීනව බලන්න තමයි මේ වාර්ථාව වැදගත් වෙන්නෙ)
දැන් මේ වාර්ථාව හරියට පරිශීලණය කරනවනම් ඔබටම තේරෙන්න ඕනේ ඔබේ ව්‍යාපාරයේ ශක්තිය.. මේක හරියට කැඩපතක් වගේ.. වත්කම් වලින් අපි ජනනය කරන ආදායම ප්‍රමාණවත්ද ? ස්ථාවර වත්කම් ක්ෂය වෙලාද? ණය ගැතියෝ එන්න එන්න වැඩිවෙනවද ? අවශ්‍ය ප්‍රමාණයට වඩා තොග එකතුවෙනවද, මදිද? කෙටිකාලීන වගකීම් ගෙවන්න සල්ලි තියෙන්නවද ? එකී මෙකී නොකී ගොඩක් දේවල් පේන්න පටන් ගන්නවා.
ඒ වගේම ඔබේ ව්‍යාපාරයේ වටිනාකම සරලව බලන්නත් පුලුවන්, ඉතාම සරලව වත්කම් වලින් හිමිකරු ප්‍රාග්ධනය හැර අන් වගකීම් අඩු කලාම ඔබට පෙනෙයි වසර ගානක් මහන්සි වෙලා ඇත්තටම එකතු කල අගය කීයද කියල..
මම මේ සටහන ලියන්න හේතුව තමයි මම අමාත්‍යාංශයට ආපු දා ඉදල බැංකු ණය නිසා අපහසුතාවයට පත් තුන් හාරසීයකට වඩා විවිධ ආකාරයට හමුවෙලා තියෙනවා. ඇත්‍තටම ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න උදව් ඉල්ලන ප්‍රමාණය 1000කට වැඩී. නමුත් මගේ පොදු අධීක්ෂණය තමයි මේ බහුතරයක් සිය වත්කම් වගකීම් කළමනාකරණය කරල නෑ. ඒක ලොකුද කුඩාද කියල නෑ. බහුතරයක් ගාව ගිණුම් නෑ, ඉතිරි අය සිය ව්‍යාපාරය 90%ක් ගොඩනගල තියෙන්නෙ බැංකු ණය වලින් ඒ කියන්නෙ ඒ ව්‍යාපාරය අවංකවම අයිති බැංකුවට
මෙන්න මේ නිසා මම ඉල්ලනවා සියලුම ව්‍යවසායකයන්ගෙන් කරුණාකරල ඔබේ ව්‍යාපාරයේ ගිණුම් ටික හදාගන්න. ඔබේ ව්‍යාපාරයේ ශේෂ පත්‍රය මාසිකව අධීක්ෂණය කරන්න, ඔබේ ව්‍යාපාරයේ ණය හා හිමිකරු ප්‍රාග්ධනය අතර මනා අනුපාතයක් දිගුකාලීනව පවත්වාගෙන යන්න 30:70, 40:60
ඔබ කියයි කොහෙන්ද අපිට හිමිකරු ප්‍රාග්ධනය, එහෙම තියෙනවානම් අපි ණය ගන්නෙ නෑ කියල, ඇත්ත ගොඩක් ව්‍යාපාරය පටන් ගන්න කොට අපේ අතේ සල්ලි නෑ තමයි.. ඒත් අපි ඒ බව හොදටම අවබෝද කරගෙන හැම මාසෙම හොයන ලාභයෙන් කොටසක් ව්‍යාපාරය තුලම නැවත ආයෝජනය කරන්න ඕනේ.. හිමිකරු ප්‍රාග්ධනය ගොඩනගන්න ඕනේ.. ණය වලින් ආරම්භ කල ව්‍යාපාරයක ලාභය ඔකොක්ම ව්‍යාපාරයෙන් එලියට ගත්තොත් සත්තයි බංකොලොත් වෙනවා කවද හරි.
ව්‍යාපාරයක් විශාල ලෙස පුළුල් කරද්දී අතේ සල්ලි නැත්තම් වෙනත් හිමිකරු ප්‍රාග්ධන සම්පාදන ක්‍රම හොයන්න. නව හවුල්කරුවන්, කොටස් හිමියන්, කොටස් වෙළෙඳපොළ මේ දේවල් වලට අපි සූදානම් වෙමු. නැත්තම් ඔබේ ව්‍යාපාරය අයිති බැංකුවටම තමයි.. සින්න වෙන්නෙත් බැංකුවටම තමයි..
ශේෂ ප්‍රත්‍රය මේක තමයි ඒක.. ඒක තමයි මේක මේක නැතිව ව්‍යාපාර කරන්න එපා.. සරලයි
ඔබට මේ පිළිබඳ දැණුමක් නොමැතිනම් කොටාගෙන යන්න අපි උදව් කරන්නම්
චතුරංග අබේසිංහ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය