12/01/2024
TN එක ගත්තා. ඊ ළඟට මොකද වෙන්නේ? 🧐🧐
ලංකාවේ ඉන්න වයස අවුරුදු 18 ට වැඩි අය වගේම පිටරට ඉන්න නමුත් ලංකාවේ වාසික තැනැත්තන් (Sri Lankan Resident persons) වන බොහෝ දෙනෙක් මේ වෙනකොටත් TIN එක අරගෙන ඇති. සමහර විට අද හෙටම ගන්න හිත හිතා ඇති. මේ TIN එක ගැන මූලික හැඳින්වීමක් වගේම පිටරට ඉන්න ඔබට TIN එක ගත යුතුද කියන කාරණා දෙක මම වෙනම ලිපි දෙකකින් පැහැදිලි කරලා තියනවා. ලින්ක් එක පහලින් දානම් . ඒ ගැනත් කියවලා බලලා දැනුවත් වෙන්න.
මේ TIN එක ලබා ගන්න රජය දීලා තියන සහන කාලය ගැන විවිධ තොරතුරු හුවමාරු වෙනවා. නමුත්, මේ වන තෙක් රජය අලුත් තොරතුරක් නිල වශයෙන් නිකුත් කරලා නැහැ. ඒ නිසා ඔබ තවම TIN එක අයදුම් කළේ නැත්නම් ප්‍රමාද නොවී එය ලබා ගන්න. මෙය ලබා නොගත්තොත් මොකද වෙන්නේ කියලා නිවැරදි මූලාශ්‍ර වලින් ලබා ගත් නිවැරදි තොරතුරු සමඟ තවත් ලිපියක් ඉන්මනින් ගෙන එන්නම්.
අපි කැමති උනත් අකමැති උනත් අපි ජීවත් වන රටේ පවතින නීති රීති වලට අපි අනුගත විය යුතුම යි. ඒ අනුව අංක 2334/21 සහ 2023 මැයි 31 දින දරණ ගැසට් නිවේදනය හරහා පනවපු මේ අනිවාර්ය TIN ලියාපදිංචිය, ඔයා වයස අවු. 18 ට වැඩි ශ්‍රී ලංකා වාසිකයෙක් (Resident person) නම් ඔබට ගන්නම වෙනවා.
ගොඩක් දෙනා මේ TIN එක ගන්න කියද්දී කලබල උනේ තමන්ට ආදායම් බද්දක් ගෙවන්න වෙයි ද කියලයි. අමාරුවෙන් කන්න බොන වියදම් ටික හොයා ගන්න අපිට මොන TIN ද කියලා තමා වැඩිදෙනා කිව්වේ. නමුත් ඇත්තම කතාව TIN එක ගත්තා කියන්නේ ඔයා දැන් ආදායම් බදු ගෙවන්න පටන් ගන්න ඕනා කියන එක නෙමෙයි. අද මම මේ ලිපියෙන් කියන්නේ TIN එක ගත්තට පස්සේ ඔයා මොකද කරන්න ඕනා කියලා.
මං ආදායම් බද්දට යටත් පුද්ගලයෙක්ද ? 😫😵💫
මේක තමා ඔයා මුලින්ම උත්තරේ හොයා ගන්න ඕන ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට ලැබෙන උත්තරේ අනුව ඊළඟ පියවර තීරණය වෙනවා. 2017 අංක 24 දරණ සංශෝධිත දේශීය ආදායම් පණතේ පස් වන උප ලේඛනයේ 2 (a) පරිච්ඡේදයට අනුව ලංකාවේ පුරවැසියන් වන වාසික සහ නිර්වාසික (Resident and Non-resident) දෙපිරිසටම වසරකට රු. 1,200,000/- ක බදු නිදහස් දීමනාවක් හිමි වෙනවා. සරලව කිව්වොත් තමන්ගේ වාර්ෂික ආදායමෙන් රු.1,200,000/- ක් වෙනකන් ආදායම් බද්දට යටත් වෙන්නේ නෑ . මේ මුදල මාසිකව ගත්තොත් මාසෙකට රු. 100,000/- ක්. ඉතින් මේ ආදායම් සීමාව ඉක්මවන ඕනම කෙනෙක් ආදායම් බද්දක් රජයට ගෙවන්න නීතියෙන් බැඳිලා ඉන්නවා.
ඉතින් ඔයාගේ ආදායම ඉහත සීමාවට අඩු නම් ඔයා TIN සහතිකය අරන් ඒක පරිස්සමට ගෙදර තියලා තියන්න 😁. අමතර වගකීම් මොකුත් ඔයාට පැවරෙන්නේ නෑ.🤗
නමුත් ඔයාගේ ආදායම ඉහත සීමාව ඉක්මවනවා නම් ඔබ ආදායම් බදු සදහා වෙනමම ලියාපදිංචි විය යුතුයි. ඒ සඳහා ඔබට ඊට අදාල අයදුම්පතක් පුරවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) ප්‍රධාන කාර්යාලයට හෝ ලඟම ඇති IRD ප්‍රාදේශීය ශාඛාවකට භාර දිය හැකියි. නැතිනම් TIN registration එකෙන් පසුව ඔබ සදා ගත් IRD E-Service එකේ ඔබේ profile එක හරහාත් ඔබට මේ ආදායම් බදු සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්.
මගේ වාර්ෂික ආදායම ලක්ෂ 12ට වැඩියි. ඉතින් මන් ආදායම් බද්දට වෙනම ම ලියාපදිංචි වුණා. ඊ ලඟට මොකද වෙන්නේ?😵💫
ඊ ලඟ ප්‍රශ්නය තමයි මට බදු වශයෙන් රුපියල් කීයක් ගෙවන්න වෙයිද කියන එක. එන්න අපි මේ කාරණාව ටිකක් විශේෂයෙන් සොයා බලමු. මොකද ගොඩක් දෙනෙක්ට මේ බද්දට යටත් ආදායම් මොනවද කියලා හරි අදහසක් නැහැ .
කොහොමද මගේ බද්දට යටත් ආදයම සොයා ගන්නේ?🥸
2017 අංක 24 දරණ සංශෝධිත දේශීය ආදායම් පණතේ 4 වන වගන්තිය අනුව ලංකාවේ වාසික තැනැත්තෙක් (Sri Lankan Resident Person) එයාගේ පහත මූලාශ්‍ර වලින් ලැබෙන ගෝලීය ආදායමට (Global income) බදු ගෙවන්න ඕනා. (මම මෙතන කතා කරන්නේ වාසික තැනැත්තන් ගැන විතරයි. ඔබ නිර්වසික (Non-resident) නම් ඔබට ලිපියක් ඉදිරියේදී ගෙනෙන්නම්)
1. සේවා නියුක්ත ආදායම
2. ව්‍යාපාර ආදායම
3. ආයෝජන ආදායම
4. වෙනත් ආදායම්
මේ මූලාශ්‍ර ගැන සරල පැහැදිලි කිරීමක් මෙහෙම කරන්නම්.🤗
1. සේවා නියුක්ත ආදායම
ඒ කියන්නේ ඔයා යම් කිසි සේවා යෝජකයෙකු ලඟ සේවය කරලා ලබන ආදායම. මෙතෙන්දි ඔයාගේ වැටුප විතරක්ම නෙමෙයි, නිවාඩු දීමනා (leave pay), අතිකාල ගෙවීම් (overtime pay), ගාස්තු (fees), විශ්‍රාම වැටුප් (pensions), කොමිස් මුදල් (commission), පාරිතෝෂික (gratuity), බෝනස් වගේ විවිධාකාර දීමනා ඇතුළත් වෙනවා. නමුත් මතක තබා ගන්න ඔබට වැඩ කරන ආයතනයෙන් ලැබෙන සමහර ගෙවීම් බද්දට යටත් ආදායම් ලෙස සලකා බැලෙන්නේ නැහැ. (උදා - සමහර දන්ත වෛද්‍ය, වෛද්‍ය හෝ සෞඛ්‍ය රක්ෂණ වියදම් සදහා ඔබේ ආයතනය ඔබ වෙනුවෙන් යම් වියදමක් දරනවා නම් එම වියදම ඔබට ලැබෙන ප්‍රතිලාභයක් වුණත් එය සේවා නියුක්තික ආදායම ගණනයෙදී සලකා බැලෙන්නේ නැහැ).
2. ව්‍යාපාර ආදායම
ඔබට ඔබේ නමින් තනි පුද්ගල ව්‍යාපාරයක් තිබේ නම් ඉන් ලැබෙන ලාභය ආදායම් බද්දට යටත් වෙනවා. මේ ලාභය ගණනය කරන්නේ ඔබේ ආදායමෙන් වියදම් අඩු කිරීමෙන් . නමුත් ඔබේ ගිණුම්කරණ ලාභය කෙලින්ම බද්දට යටත් නොවෙන බව මතක තබා ගන්න. බදු සදහා තිබෙන විශේෂිත ගැලපීම් සිදු කර බදු අරමුණු සදහා ලාභය වෙනමම ගණනය කළ යුතුයි.
ඔබ හවුල් ව්‍යාපාරයක හවුල්කාරයෙක් නම් ඔබේ හවුල් ව්‍යාපාර ලාභ කොටසත් මේ ව්‍යාපාර ආදායමට අදාළයි. ඊට අමතරව ඔබ පෞද්ගලිකව ඔබේ හැකියාවන් මත යම් යම් සේවාවන් සපයා මුදල් සොයන්නේ නම් ඉන් ලැබෙන ලාභයත් (බදු සඳහා ගැලපූ ලාභය) බද්දට යටත්. (උදා - Freelancing income, නීතිඥ වරයෙකු කෙලින්ම සේවාදායකයන්ට සේවා සපයා ලබන මුදල්, වෛද්‍යවරයෙක් පෞද්ගලික චැනලින් සේවා තුළින් ලබන ආදායම් වැනි)
3. ආයෝජන ආදායම්
ඔබ ආදායම් ඉපයීම වෙනුවෙන් යම් යම් ආයෝජන ක්‍රම තෝරාගෙන ඇති. (උදා - සමාගම් වල කොටස් මිලට ගැනීම, බැංකු වල ස්ථාවර තැන්පතු, ඉඩමක් නිවසක් කුලියට දීමක් වැනි දේ). මේ ආයෝජන ක්‍රම වලින් ඔබට ලැබෙන ආයෝජන ප්‍රතිලාභ බද්දට යටත් වෙනවා. උදා - ඔබේ ලාභාංශ (Dividends), බැංකු පොලී ආදායම් (Interest), කුලී ආදායම් (Rent) වැනි දේ.
සරලව මෙහෙම කිව්වත් ලාභාංශ, කුලී ආදායම් වගේ දේවල් වලට අදාළ වෙන තව තව ගැලපීම් තිබෙන බව මතක තබා ගන්න. මීට අමතරව ලොතරැයි, ඔට්ටු අල්ලීම්, සූදු ක්‍රීඩා වලින් ලැබෙන දිනුම්, අධිමිල (Premiums), රාජ්‍ය බාග (Royalties) වැනි බද්දට යටත් තවත් ආයෝජන ආදායම් වර්ග බොහොමයක් තිබෙනවා.
4. වෙනත් ආදායම්
ඔබට යම් බදු වසරක් තුලදී ලැබෙන යම් විශේෂ ආදායමක් ඉහත එක මූලාශ්‍රයකටවත් ඇතුළත් කිරීමට නොහැකි නම් එය වෙනත් ආදායම් යන මූලාශ්‍රය යටතේ සලකා බලා බද්දට යටත් කළ යුතුයි. කෙසේ නමුත් මෙහිදී අනියම් සහ පුනරාවර්තනය නොවන (Profits of a casual and non-recurring nature) ආදායම් සලකා බැලෙන්නේ නැහැ .
ඉතින් ඉහත සියලු මූලාශ්‍ර වලින් ඔබට ලැබෙන මුළු වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවනවා නම් ඔබ ආදායම් බද්දට යටත් පුද්ගලයෙක්.
ඉහත පරිදි ගණනය කළ ඔබේ වාර්ශික ආදායම ලක්ශ 15ක් කියමු. ඉහත සදහන් කළ පරිදි ඉන් ලක්ෂ 12 ක්ම බද්දෙන් නිදහස්. ඉතින්, ඉතිරි ලක්ෂ 3 ට පමණයි ඔබ ආදායම් බදු ගෙවිය යුත්තේ.
කොහොමද මේ බද්ද ගණනය කරන්නේ?🤔🤔
දේශීය ආදායම් පණතේ පළමු උපලේඛනයේ 1 (1c ) ප්රිච්ඡේදයට අනුව දැනට වලංගු පුද්ගල ආදායම් බදු ප්‍රතිශත මෙසේයි ;
පළමු 500,000 - 6%
ඊළඟ 500,000 - 12%
ඊළඟ 500,000 - 18%
ඊළඟ 500,000 - 24%
ඊළඟ 500,000 - 30%
ඉතිරි මුළු ආදායම - 36%
මුළු අවුරුද්දේම බද්ද එක පාර ගෙවන්න ඕනද? 🥴
ඇත්තටම නැහැ. අපි සාමාන්‍යයෙන් බදු වර්ෂයක් පටන් ගද්දි එම මුළු බදු වර්ෂයටම බදු ඇස්තමේන්තුවක් හදන්න ඕනා (බදු වර්ෂයක් කියන්නේ එක් වසරක අප්‍රේල් මාසේ ඉඳලා ඊලඟ වසරේ මාර්තු වෙනකන් කාල සීමාව) . මේක අපි කැමති නම් පමණක් කරන දෙයක් නෙමේ, නීතියට අනුව අනිවාර්යෙන් කළ යුතු දෙයක්.
ඉතින් මේ හදපු ඇස්තමේන්තුව අනුව මගේ වාර්ෂික බදු බැඳියාව රු. 60,000/- කියමු. මේ මුදල මට රු. 15,000/- බැගින් කාර්තු 4 කින් ගෙවන්න පුළුවන්.
අපි 2023/2024 බදු වර්ෂය (ඒ කියන්නේ 2023 අප්‍රේල් ඉඳලා 2024 මාර්තු වෙනකන් කාල සීමාව) සලකා බලමු. මේ වර්ෂයේ බදු ගෙවීම් හරියටම මෙන්න මේ දින වලට කලින් ගෙවුවොත් ඔයාට ප්‍රමාද පොලී ගෙවන්න වෙන්නේ නෑ .
* පළමු කාර්තුවේ බද්ද ගෙවිය යුතු අවසන් දිනය - 2023 අගෝස්තු 15
* දෙවන කාර්තුවේ බද්ද ගෙවිය යුතු අවසන් දිනය - 2023 නොවෙම්බර් 15
* තුන්වන කාර්තුවේ බද්ද ගෙවිය යුතු අවසන් දිනය - 2024 පෙබරවාරි 15
* සිව්වන කාර්තුවේ බද්ද ගෙවිය යුතු අවසන් දිනය - 2024 මැයි 15
ඔයාගේ මේ බදු ඇස්තමේන්තුව පොඩ්ඩක් එහාට මෙහාට වුණාට ගැටළුවක් නැහැ. යම් හෙයකින් ඔබ බදු ඇස්තමේන්තුව අනුව ගෙවූ මුළු බදු මුදලට වඩා සත්‍ය ආදායම මත ගෙවිය යුතු බද්ද (Tax payable amount on your actual income) වැඩියි නම්, හිඟ මුදල ගෙවන්න 2024 සැප්තැම්බර් 30 වෙනකන් සහන කාලයකුත් දීලා තියෙනවා.
ඉතින් ඔබ බද්දට යටත් කෙනෙක් නම් මෙන්න මෙහෙමයි ඔයාගේ බදු ගෙවීම සම්බන්ධ වගකීම ක්‍රියාත්මක වෙන්නේ. මීට අමතරව බදු ගෙවන්නෙක් විදියට ඔබට පැවරෙන අනිකුත් වගකීම් ගැන වෙනම ලිපියකින් කතා කරමු.
මම ඉහත ඉදිරිපත් කල තොරතුරු ඔබේ බදු පිළිබද සාමාන්‍ය දැනීම සඳහා පමණයි. ඔබේ බදු බැඳියාව නිවැරදිව ගණනය කරන්න තව බොහෝ තොරතුරු උවමනා වෙනවා. ඒ වගේම දේශීය ආදායම් පණතේ ප්‍රතිපාදන නිවැරදිව තේරුම් ගත්තොත් ඔබට ඔබේ ගනුදෙණු , ආදායම් නිවැරදිව සැලසුම් කරගෙන බදු බැඳියාව සැලකිය යුතු මුදලකින් අඩු කරගන්නත් හැකියාව තිබෙනවා. ඒ සඳහා සුදුසුකම් ලත් බදු උපදේශකයකුගේ මග පෙන්වීම ලබා ගැනීම ඉතා වැදගත් බවත් මතක් කරන්න කැමතියි.
බදු ගැන ඔබේ ගැටළු අපිට ඉදිරිපත් කරන්න.
Voice or Whatsap +94 78 49 46 723
තොරතුරු ඉදිරිපත් කරන්නේ :
නීතීඥ හේෂානි ජයතිස්ස
වරලත් බදු උපදේශක - FCIT (SL)
සබැඳිය 1 - විසාල කරදරයක් වුණු TIN එක
https://m.facebook.com/story.php?story_fbid=122095432940187568&id=61555627045017&mibextid=Nif5oz
සබැඳිය 2 - පිටරට ඉන්න මටත් TIN එකක් ඕනද?
https://m.facebook.com/story.php?story_fbid=122095441322187568&id=61555627045017&mibextid=Nif5oz
කතෘ අයිතිය සුරකිමින් මෙම ලිපිය බෙදා ගැනීමට ඔබට අවසරයි 🤗